ඊයේ රාත්‍රියේ බළලුන් ව ගේ ඇතුල ට ගන්නා වෙලාවේ අප්පු පේන්න සිටියේ නැත. මම අප්පුගේ නම කියමින් වත්ත පුරා රවුම් තුනක් ගිය අතර ඒත් අප්පු ආවේ නැත. ගේ ඇතුලේ ද හැම තැන ම බැලූ නමුත් අප්පු ගේ ඇතුලේ සිටියේ ද නැත. මම හතර වන වරටත් අප්පුගේ නම කියමින් වත්ත පුරා ඇවිද්දෙමි. නමුත් අප්පු ආවේ නැත. එය ඉතා අසාමාන්‍ය දෙයකි. අප්පු සාමාන්‍යයෙන් නම ඇසුන ගමන් එයි. (මා දුටු ගමන් දුවයි. එක්කෝ හැංගෙයි. ඒක වෙන ම කතාවකි.) අප්පු නැති නිසා මම ටිකක් කලබල වුනෙමි. අප්පුට කරදරයක් ද? ඒකත් විය නොහැකි ය. මොකද, අප්පු වත්තෙන් පිට නොයයි. අප්පුට ගස් නගින්න ද බැරි ය. අප්පු පිට බළල්ලු සමඟ රණ්ඩුවට ද නොයයි. මම ගෙදර කබඩ්, අල්මාරි සියල්ල ඇර බැලුවෙමි. නමුත් අප්පු නම් සිටියේ නැත. මම ටිකක් බය වුනෙමි. මට විවිධ භයංකාර සිතුවිලි ද පහළ විය. අප්පු ව කවුරු හෝ ගෙනියලා ද? (අපේ ආච්චි නැති වුනේ එහෙම ය.) නැත්නම් අප්පු….මැ….රි…..ඊඊඊඊ 😬 මොකටත් කියා පස් වන වතාවටත් අප්පුගේ නම කියමින් ඇවිද්දෙමි. වෙලාව රාත්‍රී 9.30.
“මේ ඕයි! ඕයි! ඇහෙනව ද?” මට එළියේ මඩුව ඇතුලෙන් හඬක් ඇසුනි.
මම: “ඔය කවුද? අප්පු ද?”
හඬ: “නැත්තම් ඉතින් උදැල්ල කතා කරන්නෙ නෑනෙ…මේක ඇරපන්! ඇයි උඹ මේක වැහුවෙ?”
මම: “මම වහපු එකක් නෑ. අප්පු මොනව ද මේ වෙලාවෙ ඕක ඇතුලෙ කරන්නෙ?”
අප්පු: “උඹ හිතන්නෙ මම මේක ඇතුලට දැන් රිංගුවා කියල ද? නෑ ඕයි මම මේක අස්සෙ හිර වෙලා ඉන්නෙ දවල් ඉඳලා. දවල්! උඹල දන්නෙත් නෑ. දැන් තමයි උඹල ට අපිව මතක් වෙන්නෙ. ඇරපන් මේක දැන්වත්. උඹ දැන් මෙතනින් කී සැරයක් නින්දෙන් වගේ එහෙට මෙහෙට ගියා ද? මේකෙ මකුලුවො ඉන්නව ඕයි…ඉක්මන් කරනවකො!”
අප්පු මට බැනගෙන බැනගෙන ගියේ ය. මේ අතර ලොකු මහත්තයාගේ පොඩි දුව ද අප්පු සෙවීමේ මෙහෙයුම ට සම්බන්ධ වී ඉක්මනින් යතුර ගෙනවිත් මඩුවේ දොර ඇර අප්පුව බේරාගත්තා ය. අප්පු ලොකු මහත්තයාගේ පොඩි දුවගේ කරට නැග ගෙදර යන අතර මම මඩුව වැසීම ට නතර වුනෙමි. අප්පු මට මහ හඬින් බනිමින් ගෙදර ගියේ ය.
අප්පු: මේ ඕයි, මම දොරේ සිදුරෙන් ඔක්කොම බලාගෙන ඈ උඹේ වැඩ. උඹ ළිඳ ඇතුලටත් ටෝච් එක ගහල බැලුව නේ? උඹ හිතුව අපි ළිඳ ට වැටිලා ඇති කියල නේ…උඹ නම්….උඹ අල්ලපු වත්තටත් ටෝච් ගහ ගහ බැලුව නේ? උඹ හිතුව අපව බල්ලො කාලා කියල නේ? අම්මෝ උඹ නම්. උඹ හිතුවෙ ම අපි මැරිල කියල නේ? උඹේ මූසල සිතුවිලි. අපි එහෙම මැරෙන්නෙ නෑ…උඹල නම් සවුත්තුයි අප්පා…
අප්පුගේ බැනුම් කෙළවරක් නොවී ය. අප්පු කේන්තිය ට ඔහේ කෑ ගසමින් ගෙදර ගියේ ය. අප්පුගේ පණ්ඩිත වැඩක් නිසා අද දවල් කවුරු හෝ අත් වැරදීමකින් අප්පු ඇතුලේ සිටිය දී මඩුව වසා ඇත. අන්තිම ට ඒකට හසු වුනේ ද මාව ය. මම හෙව්වේ නැත්නම් අප්පු හෙට වන තුරු මඩුව ඇතුලේ ය. බේරා ගත්තා මදිවාට අවසානයේ මම වරදකරු ද වුනෙමි.
අන්තිමට මහන්සි වී නිදියගැනීමට එන විට අප්පු මගේ ඇඳ අල්ලාගෙන හොඳට ම නිදි ය.
මම: “අප්පු, අනේ අප්පු, ටිකක් එහාට වෙන්නකො…මම කොහෙද නිදියන්නෙ?”
අප්පු: “ආ…ගිහින් මඩුවෙන් නිදියගනින්. එතන නියමයි. උඹට හරියන්නෙ එතන.”
මම: 😳😡
මීට අසරණ ලොකු මහත්තයාගේ ලොකු දුව.
ප.ලි. අප්පු එන්න එන්න ම නරක් වන බව පෙනේ.