ඊයේ රාත්‍රී 12 ට පමණ ලොකු මහත්තයාගේ ලොකු දුවගේ ජනේලයෙන් පිටත සැක කටයුතු ශබ්දයක් ඇසුනි. ලොකු මහත්තයාගේ ලොකු දුව ඒක ගණන් ගත්තේ නැත. නමුත් එය කුමක්දැයි බැලිය යුතු බව අපි ඒකිට පුන පුනා කිව්වා ය. නමුත් ඒකි ගණන් ගත්තේ නැත. ඒ හොරෙක් හෝ බිල්ලෙක් විය හැකි බව අපි ඒකිට පැහැදිලි කළා ය. එවිට ඒකි, “මීයෙක් වෙන්න ඇති අප්පු. අනික බිල්ලො කියල ජාතියක් නෑ” යයි ඒකි සුපුරුදු පණ්ඩිත කතාව කිව්වා ය. අපි නිකන් හිටියේ නැත. අපි හොරෙන් ජනෙල් පියන තල්ලු කර එළිය බැලුවා ය.
අප්පා අප්පා! එළියේ ජනේලය ළග හොර බළලෙකි. කැත කිලුටු පාටකි. අදුරන්න බැරි ය. කරේ ලොකු මල්ලක් ද තිබුන අතර ඌ ගීතයක් ද මුමුණමින්, කුදු වී, හොර අඩි තියමින් ගේ අයින දිගේ හෙමින් හෙමින් යමින් සිටියා ය. කන් දී බැලූ විට මෙසේ ඇසුනි,
“හදුනාගත්තොත් ඔබ මා…..
හදුනාගත්තොත් ඔබ මා…..”
අප්පු: ඒයි, උඹ කව්ද?
හොර බළලා: නිහඩය
අප්පු: උඹ කව්ද? කියපා…..න්!!
හොර බළලා: නිහඩය
අප්පු: කථා කරපා…..න්…නැත්තං උඹව අල්ලා දෙනව ලොකු මහත්තයට!
හොර බළලා: නිහඩය
අප්පු: කථා කරන්නෑ? එහෙනම් උඹව අල්ලා දෙනව ලොකු මහත්තයගෙ එම නෝනට!
හොර බළලා: අනේ එහෙම කරන්න එපා සහෝදරයා, මම නත්තල් සීයා…
“ඈ?…සීය කෙනෙක් නම් අපට සහෝදරය කිව්වෙ ඇයි? ඈ?? අනික මේ අගෝස්තු මාසෙ…හිටපන් උඹට….මෙන්න…හොරේක්, හොරේ….ක්” අපි උඩ පනිමින් හැකි උපරිම හඩින් කෑගැසුවා ය.
“පිස්සු ද අප්පු! ඕක නවත්තන්න! අප්පූ!” ඒකි කෑගසාගෙන ඇවිත් අපිව තල්ලු කර ජනේලය වැසුවා ය. අපි වැටුනා ය.
අපට කෙන්ති ගියා ය. “මෝඩි, මෝඩි! කැත විතරක් මූණෙ.” අපි ඒකිගේ මූණටම කියා කාමරයෙන් පිට වුනා ය.
“හරි හරි, මගෙ කැත මම බලාගන්නම්”, ඒකි ජනේලය වසන ගමන් බනිනවා යන්තම් වගේ ඇසුනා ය.
උදේ බලන විට ඒකිගේ සෙරෙප්පුවක් නැතිවී තිබුනි.
මීට අප්පු.