සතුන් ඇති කරන කාටත් කතා කිරීමට අකමැති හා කතා කළ නොහැකි දිනයක් උදා වේ. ඒ ඔවුන් අපට උදා කරන එක ම නරක දිනය යි. නමුත් එම දිනය උදා වීම අප කිසිවකු ට හෝ නතර කළ නොහැක. මට ද එවැනි බොහෝ දිනයන් උදා වී ඇත. මෙය ද එවැනි දිනයක් පිළිබඳ කතාවකි.
කළක ට පෙර මම මෙවැනි දිනයන් නොකා නොබී වැළපෙමින් තරහෙන් ගත කළ කාලයක් විය. වරද කාගේ දැයි සිතමින් ද වරද මට ම පටවා ගනිමින් ද මා විසින් කුමක් වෙනස් ආකාරයකට කළ යුතුව තිබුනේදැයි සිතමින් දින ගණන් මාරාවේශයෙන් ගත කළ දින පසු ගිය කාල වල තිබුනි.
නමුත් දැන් මා වෙනස් ය. දැන් මම සිදුවීම් දකින්නේ වෙනස් ඇසකිනි. අපට ලෝකයේ සිදු වන සෑම සිදු වීමක් ම පාලනය කළ නොහැක. එමෙන් ම සෑම සිදුවීමක් ම සිදු වන්නේ හේතුවක් ඇතිව ය. අහඹු සිදුවීම් යයි දෙයක් මෙලොව නැත. එම සිදුවීම් සමඟ අප ට සෑම විට ම එකඟ විය නොහැකි බව ඇත්ත ය. නමුත් ඒ අප මේ සිදුවීම් වල අග මුල නොදන්නා නිසා ය.
අප්පු ගැන මෙතැන මම විස්තර නොකරමි. මන්ද මා කියන දේ බොරු බවත් ඒවා විශ්වාස නොකරන ලෙසත් අප්පු ඔබෙන් ඉල්ලා සිටි නිසා ය. අප්පු හරි ය. අප්පු ට සිදුවූ දේ විස්තර කිරීම ට මම නොදනිමි. මා අත්විඳි දෙය හා මා එයට දෙන අර්ථකථනය අමු ම අමු බොරුවක් වීමට ඇති ඉඩකඩ ඉතා ම වැඩි ය. ඇත්ත දන්නේ අප්පු ය. මා නොවේ ය. එම නිසා අප්පුගේ භාෂාවෙන් කිවහොත් මම නොදන්නා මගුල් වල ට හොස්ස නොපොවා සිටිමි.
එම නිසා මම අප්පු ට සුබ ගමන් ද නොපතමි. මන්ද සුබ ගමන් පැතිය යුත්තේ අපව අතහැර යන අයට ය. අප්පු අපව අතහැර ගියේ නැත. අප්පු තවම මට දොස් කියමින් ඕප දූප සොයමින් එක දෙක කර පතුරවමින් මෙහි ම සිටී. එම විස්තර ද මම ඔබ ට ගෙන එන බවට මම අප්පු ට පොරොන්දු වුනෙමි. එසේ නොකළොත් අප්පු ඉතාම උරණ වන බව ද මම දනිමි.
එම නිසා හෙටත් අප්පුගේ කේලාම් කතාවක් බලාපොරොත්තු වන්න.
ගසකින් තවත් කොළයක් බිමට වැටුනි. ඒ කොළය රතු, කහ, තැඹිලි, රන්වන් වර්ණ වලින් පාට වී තිබුනි. නමුත් හෙට තවත් ලස්සන රන්වන් හා ලා කොළ මිශ්‍ර දලුවක් ලියලනු ඇත. එය ස්වභාවධර්මය යි.
නමුත් මට එක උදව්වක් අවශ්‍ය ය. මාගෙන් ප්‍රශ්න නොඅසන්න. මට ඒවා ට උත්තර නැත.
නමුත් අප්පුගේ කතන්දර වලට කෙළවරක් නැත. “තව ලියපන් මං ගැන බොරු. අම්මෝ උඹ නම්. හැටි විතරක් උඹේ. බොරු කාරයා…” අප්පු මගේ අතට උඩින් එබෙමින් මට බනී. මම අප්පු දිහා බැලූ විට අප්පු මට දත් විලිස්සා ඇද කර මේසයෙන් බැස ගියේ ය. ඒ මගේ අප්පු ය.
මීට ලොකු මහත්තයාගේ ලොකු දුව
21.05.2025