අද දින දහවල් පාරේ ගමන් ගත් අයෙක් අපේ ගෙදර ලඟ නතර වී “මෙහේ බොහෝ බළලුන් සිටිනවා නේද? ඉන් එකෙක් මිල දී ගැනීමට හැකි ද?” යයි වැඩට උදව් වන කෙනාගෙන් අසා ඇත. මෙක හරි වැඩක් නෙව…සතෙක් ට වත් නිදහසේ ඉන්න නෑනේ කියමින් ඔහු ගෙදර ආවේ බළලුන් විකුණන්නේ නැති බව එම පුද්ගලයා ට පැහැදිලි කිරීමෙන් පසු ය. මෙම කතාව අසා අපි සියලුදෙනා සිනාසුනෙමු. “විකිණීමට ඇත” කියමින් බළලුන් ට විහිලු ද කළෙමු. නමුත් ඒ සිනහව හා විහිලු පිටුපස ඇති කතාව එතරම් සතුට ගෙන දෙන්නක් නොවන බව බොහෝ දෙනෙක් නොදනී.
මෙහි සිටින සියලු බළලුන් මට මුණගැසුනේ මහ පාරේ අසරණ කර දමා ගොස් සිටියදී ය. සමහරු අලුත උපන් පැටවුන් විය. තවත් උන් ලෙඩ වූ, වයස්ගත බළලුන් විය. මට හමු වන විට ඒ කිසිවකුටවත් මිලක් නියම කිරීමට තබා පිහිට වීම ට හෝ ඉදිරිපත් වීම ට කෙනෙක් නම් නොවී ය. ඒ කාලයේ පාරේ ගමන් ගත් අයට උන් කැතය. කිලුටු ය. කෙට්ටු ය. අප්පිරියා ය. කරදරේ ය. නමුත් මෙහි අපේ ආදරය කරුණාව මැද ඔවුන් හැදී වැඩී ඉතා ලස්සන, මහත, බූල් පිරුන, සුරතල් හා නිරෝගී බළලුන් වී නිදහසේ මෙහි කල් ගෙවන විට එම විශේෂණ පද වෙනස් විය. නොමිලේ පාරෙන් ඇහිඳ ගැනීම ට තිබුන අවස්ථාව මග හැරි ඔවුන්, අද මෙම සතෙක් මිලට ගැනීම ට ඉදිරිපත් වෙති. එම ආකල්පය මා පුදුම කරවයි. නමුත් මේ ලස්සන බළලුන් පිටුපස ගත වුන නිදි වර්ජිත රාත්‍රීන්, පශුවෛද්‍යවරුන් ලඟ ගත කළ වේදනාත්මක පැය ගණන්, තුවාල, ලෙඩ රෝග, ශල්‍යකර්ම, මරණය සමඟ කළ සටන්, බිය, වෙහෙස, කළකිරීම, පසුතැවීම, ධෛර්යය, හා බලාපොරොත්තුව මෙම මිනිසුන් දන්නේ නැත.
මගේ අත් දෙක මත බොහෝ බළලුන් අවසන් හුස්ම හෙලා ඇත. සිහිය නොමැති, මිය යන සතුන් සමඟ මම පැය ගණන් ගත කර ඇත්තෙමි. එසේ ම මගේ අත් වලින් බොහෝ කුඩා පැටවුන් හැදී වැඩී ඇත. ලෙඩ වූ සතුන් සනීප වී ඇත. එපමණක් නොව අතුරුදහන් වූ සතුන් එන තුරු මම මාස ගණන් මඟ බලා හිඳ ඇත්තෙමි. එය ඔවුන්ගේ මරණයටත් වඩා දුෂ්කර අත්දැකීමකි. මේ සියලු දේවල් වලදී මට උදවු වුනේ මගේ පවුලේ අය ය.
මෙම කුඩා සතුන් ට දැක්වූ කරුණාව නිසා ම අපි බොහෝ කරදර වලින් ගැලවී ඇත. ආපස්සට සිතා බලන විට එම සිදුවීම් ඉතාමත් ම පුදුම සහගත ය. ඇදහිය නොහැකි තරම් ම පුදුම ය. ඒ අප ලෝකය ට නිදහස් කරන දෙය නැවත අප කරා පැමිණෙන බව මා දැන ගත් එක් ක්‍රමයක් විය.
මේ බළලුන් ට මිලක් නැත. මොවුන් නුමුහුන් පෙළපත් වලින් එන විවිධාකාර නම් සහිත උසස් වර්ග වල බළලුන් ද නොවේ ය. මේ ශ්‍රී ලංකාවේ බළලුන්ගේ වල් දර්ශකය නියෝජනය කරන ඉතා ම සාමාන්‍ය බළලුන් ය. එකම වෙනස මොවුන් හැදුන වැඩුන පරිසරය පමණ ය. ඒ නිසා මොවුන් ට මිලක් නැත. මන්ද මිලක් නියම කිරිමට බැරි තරම් මොවුන්ගේ වටිනාකම වැඩි නිසා ය. එබැවින් මා මේ බළලුන් විකුණුව ද ඔවුන් මිලදී ගැනීමට තරම් පොහොසතෙක් මෙලොව නැත.
~ලොකු මහත්තයාගේ ලොකු දුව