පුල්ලියා අපේ ගෙදර සිටින එක විදිහක බළලෙකි. පුල්ලිකුමාර මුනිදාස, පුල්ලි මල්ල, පුල්ලි කැටේ, රාජ මැදුරෙ ආලෝකය ලෙස හඳුන්වන්නේ ද පුල්ලියා ව ම ය. පුල්ලියා යනු වෙනම ජීවියෙකි. පුල්ලියාගේ අහංකාරකම වෙනම ම ජීවියෙකි. කන්න දෙන විට ඔය ජීවීන් දෙදෙනා ට ම කන්න දිය යුතු ය.
පුල්ලියා වෙන බළලුන් සමඟ කන්නේ නැත. රටේ බළල්ලු (රටේ කිව්වා ට ගෙදර ම අනිත් බළල්ලු) හොට ගැසූ කෑම හෝ වතුර පුල්ලියා කටේ තියන්නේ නැත. පුල්ලියා ට කෑම බීම ලබා දීම ට වෙනම නිලමෙලා සිටිය යුතුය. ඔය නිලමේ කම් දෙක තුන ම කරන්නේ මම ය. පුල්ලියාගේ කෑම එක කෝම්පිට්ටුවක් සේ සකසා දිය යුතු ය.
පුල්ලියාගේ ජීවිතය ම කෑම ය. කෑම ලබා ගැනීම ට පුල්ලියා ඉතා ම විනීත ව හැසිරේ.
පුල්ලියා වෙන බළලුන් මෙන් “ඤාව්” කියන්නේ නැත. ඒ වෙනුව ට පුල්ලිය කියන්නේ “මෑ” කියලා ය. කෑම අවශ්‍ය වුන විට පුල්ලියා “මෑ” කිය යි. එවිට නිලමේ මැරී සිටිය ද, පැමිණ පුල්ලියා ට කෑම දිය යුතු ය. පුල්ලියා ට අවශ්‍ය බඳුනේ, පිරිසිඳුව ට, පිළිවෙල ට, වෙනම කෑම හා වතුර තබා කෑමට ආරාධනා කරන තුරු පුල්ලියා පිළිමයක් මෙන් නොසෙල්වී බලා සිටී.
පුල්ලියා ජීවිතේ ට දඩයමක් කර නැත. නමුත් වෙනත් බළලෙක් දඩයමක් කර ගත් විට, පුල්ලියා හොර ගල් අහුලමින් වටේ දැවටෙමින් සිට කෙසේ හෝ ඒ දඩයම තමන් සතු කර ගනී. සරල භාෂාවෙන් කිව්වොත් “කොල්ලකයි.” මේ නිසා රටේ හා ගෙදර බළල්ලු පුල්ලියා සමඟ හිත හොඳ නැත.
මීට පුල්ලි නිලමේ තැන් පත් ලොකු මහත්තයාගේ ලොකු දුව
