බළල්ලු මායාකරුවෝ ය.
අපට නොපෙනෙන රූප, වර්ණ දකින,
අපට නොඇසෙන ශබ්ද ඇසෙන,
අපට නොදැනෙන සුවඳ දැනෙන,
සිහින සමඟ ගණුදෙනු කරන,
ගෙ මිදුල මැද තරු දොරටු දකින,
ඒවායින් ඔබ්බ ට පය තබා පිණි මෙන් අතුරුදන් වන,
නැවත හොල්මන් මෙන් අප ඉදිරියෙහි පෙනීසිටින,
කිසිවෙක් ව තඹේ ක ට මායිම් නොකරන,
නමුත් තමුන් ට සිතුන විටක හිස මත හෝ කැරලි ගැසී නිදියන—
බළල්ලු මායාකරුවෝ ය.
බළල්ලු කවටයෝ ය.
උස පටු බිත්ති මත සීරුව ට ඇවිදින,
නමුත් නින්දගොස් ඇඳෙන් බිමට වැටෙන,
යමක් ඇසුවා ට කිසි දා උත්තර නොබඳින,
නමුත් නින්දෙන් ලොව වටා පුවත් විචාරණ,
විශඝෝර සර්පයින් සමඟ යුධ වදින,
නමුත් සෙවනැල්ලක් වැටුන විට අඩි හත අටක් උඩ විසිවන,
අදෘෂ්‍යමාන බලවේග මෙන් ලේනුන් දෙමලිච්චන් වෙත ලඟා වන,
නමුත් කිවිසුමක් නිසා හිස බිත්තියේ වැදෙන—
බළල්ලු කවටයෝ ය.
බළල්ලු ශෝභනකාරයෝ ය.
රාජකීය කාන්තාවනට වඩා සිනිඳු පියවර මනින,
දිය නුරැස්සන,
නමුත්,
දවසේ වැඩි වේලාවක් ඛේටයෙන් ස්නානය කරන,
ජීවිතය ට ම දඩයමක් නොකළ ද
කොහේ හෝ අතුල්ලමින් නිය උල් කරන,
වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම
‘දූවිල්ලෙන් වත්සුණු තවරන’
වලිගය වනමින් තාලය ට ඇවිදින,
යෝගාසන පරයන ඉරියවු වලින් නිදියන,
වෛවාරණ ඇස් කාච දරණ,
විචිත්‍ර ලෝමයෙන් එකිනෙකා පරයන—
බළල්ලු ශෝභනකාරයෝ ය.
ඒ කෙසේ වුව ද…
බළල්ලු රාජකාරි බහුල ඇත්තෝ ය.
කෙතරම් වැඩ බහුල ද කියතෝත්,
තමා මළ බව ද නොදනී…
කව්දෝ ඇහැ ට නොපෙනෙන බළල් ගඩ්ඩෙක්
තවමත් මහ රෑ මැද
මගේ ඇඳ ට පැන
“මේ ඕයි, රතුපාට පූස් ඇඳේ අදත් මකුලුදැලක් බැඳලා…ඒක ගසපන්කෝ…”
යයි කියන්නේ ඒ නිසා ය.
ඒ කවුදැයි මම නම් නොදනී.
මීට ලොකු මහත්තයාගේ ලොකු දුව.