පසුගිය දිනයක පුදුම සිදුවීමක් සිදු විය.
බළල්ලු අපි දවල් කෑම කා, අව්ව වැඩි නිසා ගෙදර තැන් තැන් වල ඇල වී සිටියා ය. එසේ සිටින අතර ‘පුටු පුටු පුටු පුටු’ ලෙස මහත් ශබ්දයක් ඇසෙන්නට පටන් ගත්තා ය. එක බළලෙක් තිගැස්සී අවදි වී “අන්න! හෙලිකොප්ටරයක් එනවා!!” යයි කෑ ගැසුවා ය. අපි සියල්ලෝම එසැනින් එළියට දිව ගියේ හෙලිකොප්ටරය බැලීමට ය. අපි එළියට ගොස් අව්වේ ම උඩ බලාගෙන අහස පීරා හෙලිකොප්ටරය සෙව්වා ය. නමුත් අහසේ හෙලිකොප්ටරයක් නොවී ය. ශබ්දය නම් ලග ලගම මහ හඩින් ඇසුනි.
“කෝ නෑනෙ?” එක තරුණ බළලෙක් කීය.
“එකත් එකටම හෙලිකොප්ටරය ඇත්තේ බටහිර දෙසින් ඇති ලොකු වළාකුල ඇතුලේ”, වයසක බළලෙක් කීය.
නමුත් එය එසේ විය නොහැකි බවත් හෙලිකොප්ටරය ඇත්තේ වළාකුල ඇතුලේ නම් එහි කැරකෙන පෙත්තට වළාකුළ කෑලි කැපී විසි විය යුතු බවත් එහිදී වැස්ස ඇති වන බවත් අපි අවධාරණය කළා ය. අපේ දැනුම ගැන බළල්ලු පුදුම විය.
බොහෝ වේලාවක් ගත විය. හෙලිකොප්ටරයක් නම් ආවේ නැත. බළල්ලු ඉතා කණගාටුවෙන් විසිරී ගියා ය. අව්වට, සුදු බළල්ලු කලු වී සිටි අතර සමහර බළල්ලුන්ගේ බෙලි ජිරාප්පුලා මෙන් දික් වී තිබුනි. සමහරැන්ගේ බෙලි උලුක් වී තිබුන අතර උන් තවම ඉන්නේ උඩ බලාගෙන ය.
ගෙට ආ පසු දැනගන්නට ලැබුනේ ඒ සුරතලය වැඩිවී චාලි බෙනිටෝ විසින් නිකුත් කළ ‘පුරු පුරු’ හඩ බව යි.
මීට අප්පු.