පෙරේදා ගෙදර වත්තට සරුංගලයක් වැටුනි. එය වැටුනේ කොහිල කොටුවට ය. එය මුලින්ම දැක්කේ ලොකු මහත්තයාගේ පොඩි දුව ය. ඒකිගේ ඇස් උඩ ගොස් කට ද ඇරුනි. ඒකි පොඩි කාලේ එහෙම සරුංගලයක් වත්තට වැටෙනකන් බලාගෙන සිටි බවත් දැන් මේ අවුරුදු තිස් ගණනකය පසු එම සිහිනය සැබෑ වුන බවත් කියමින් ඒකි සතුටින් නටන්නට විය.
ඒ වෙලාවේ ලොකු මහත්තයාගේ ලොකු දුව කකුල් වනමින් විස්කෝතුවක් කකා තේ එකක් බොමින් සිටියා ය. සරුංගලයක් වැටුන කතාව ඇසී ඒකි කකා සිටි විස්කෝතුව ද උඩ විසි කර එතනට දිව්වා ය. සරුංගලයේ නූල ගස්, කදුවැටි, වළාකුලු උඩින් වෙල පැත්තට ඇදී තිබුනි. එය දැක ලොකු මහත්තයාගේ ලොකු දුව එම නූල අදින්නට විය. නූල ඇදී ආ අතර එය එත තැනකදී නතර විය.
“එකත් එකටම නූලේ අනිත් කෙලවර කොල්ලෙක් අල්ලගෙන ඇති.” ඒකි කිව්වා ය.
“අපෝ එහෙනම් අදින්න එපා! නූලත් එක්ක කොල්ලත් ඇදිල එයි.” ලොකු මහත්තයාගේ පොඩි දුව කිව්වා ය.
“ඒයි කොල්ලො! නූල අතෑරපන්! දැන් මේක අපේ! අපේ වත්තට වැටෙන ඒවා අයිති අපට…! ලොකු මහත්තයාගේ ලොකු දුව වෙල පැත්තට කෑ ගසා කිව්වා ය. අපි ද අත්පුඩි ගසා ඊට සහයෝගය පෑවා ය.
නමුත් නූල ආවේ නැත. ඒ සැරේ ඒකි කුස්සියෙන් පිහියක් ගෙනවිත් නූල කපා සරුංගලය ඒකිගේ භාරයට ගත්තා ය. ඒකට ලොකු මහත්තයාගේ පොඩි දුවගේ හිත හොද නැති විය. එම සරුංගලය වැටුනේ ඒකිගේ පිනට බවත් ඒක අයිති ඒකිට බවත් ඒකි කුටු කුටු ගාමින් කියව කියවා ඇවිදින්නට විය. නමුත් ලොකු මහත්තයාගේ ලොකු දුව ඒක දුන්නේ නැත. එදා රෑ ඒකි හීනෙන් ද කියෙව්වේ සරුංගලය ඒකිගේ බව ය.
රැය ගෙවී උදය පහන් විය.
ඉර පායන්නත් කලින් තාප්පය දෙසින් මහා කේලමක් කියමින් කුක්කා ආවා ය. උගේ සරුංගලය පෙර දින වැටුන බවත් ද එය දැන් සොයා ගැනීමට නොහැකි බවත් එය ගත් එකෙක් ඇත්නම් දීපල්ලා කියමින් ඌ හතර වෙටේටම ඇගිල්ල උලුක් කරමින් තර්ජනය කළා ය. අන්තිමට සරුංගලය කුක්කාට ම අයිති විය. ඌ ඒකත් අරගෙන නැවත අතුරුදහන් විය. අරුන් දෙන්නා තාමත් සුසුම් හෙලමින් වෙල පැත්ත බලාගෙන සිටියි. උන්ට හොද වැඩේ ය.
මීට ප්‍රීතියට පත් අප්පු
සරුංගල් සිද්ධිය සම්බන්ධයෙන් ලොකු මහත්තයාගේ පොඩි දුව පව් කියමින් වැළලෙන්න හැදූ නෝනලා වෙතයි,
නෝනලා, ඒකි පව් නැත. කිසිසේත් ම පව් නැත. ඒකි අංකූරා ය. ගල් ආදා ය. මූණ බැලුවා ම ඒ බව පෙනේ. අපි ගැන කේලම් කියා ලොකු මහත්තයාගේ එම නෝනාව අපට විරුද්ධව උසි ගන්නන්නේ ද ඕකි ය. ඒකිට අනුව ගුල්ලා හොද ය. කුක්කා හොද ය. අප්පු නරක ය. ලොකු මහත්තයා නම් ඕවාට අහු වෙන්නේ නැත. නමුත් එම නෝනා අපට බනී. ඒ මේකිගේ කේලම් නිසා ය. ඒ අතින් බලන විට ඒකිට සරුංගලය නොලැබුන එකම හොද ය. ලැබුනා නම් ඒකි උඩ යනවා ය. දැන් ඒකි බිම ය.
මීට අප්පු.