මම ලොකුමහත්තයාගේ ලොකු දුව වෙමි.
ඔබතුමනලා මෙතරම් කාලයක් අප්පුගේ කේලම් සහ අදහස් ඇසූ බව මම දනිමි. නමුත් දැන් අප්පුගේ වැඩකටයුතු ගැන කීමට කාළය පැමිණ ඇත.
පසුගිය දිනක මා නාන කාමරයෙන් පිටතට එන්නට දොර අරින විට, දොර අප්පුගේ අගේ වැදී අප්පු වැටුනි. මම ඉක්මනින් ම අප්පුව ඇහිදගෙන, අතගා, සිදුවූ වරදට සමාව ද ඉල්ලා වන්දියක් වශයෙන් අප්පුට අමතර කෑම පිගානක්ද ලබා දුන්නෙමි.
එදා සිට, ගෙදර කවුරු හෝ නාන කාමරයට යන බව දුටු විට අප්පු වහාම එතැනට පැමිණ දොර ලඟ රස්තියාදු වෙමින් සිටී. ඇතුලට ගිය කෙනා පිටතට එන්නට දොර අරින විට අප්පු දොරේ වැදී කැරකී බිම වැටේ. ඉන් පසු නැගිටීම ප්‍රතික්ෂේප කරමින් “අපව හැප්පුවා! අපව හැප්පුවා! හිතලමයි කළේ! අම්මෝ කොන්ද! කකුළ කැඩුනා!” යයි බොරු කියමින් වන්දි ඉල්ලයි. සමාව ඉල්ලූ විට, “සමාව කන්න ද? අම්මෝ කොන්ද!” කියමින් කෑගසයි. අප්පුගේ කට වැසීමට නම් අප්පුව වඩාගෙන ගොස් කෑම පිඟානක් බෙදා දිය යුතුය. මෙම සිදුවීම පුරුද්දක් වශයෙන් සිදු වේ.
මේ අවනඩුවට විසදුමක් බලාපොරොත්තු වෙමි.
මීට, අගතියට හා පීඩාවට පත් ලොකුමහත්තයාගේ ලොකු දුව.