මැණිකේ

ලොකු මහත්තයාගේ ලොකු දුව, ලෙඩ වුන බළල් පැටියෙක් ව පශුවෛද්‍ය තුමිය වෙත ගෙන ගිය අවස්ථාවක දී එතුමිය එම බළල් පැටියා දුටු ගමන් “ආනේ…චූටි මැණිකෙ කෙනෙක්නෙ…” යයි කියා ඇත.
එය අසා ගත් ලොකු මහත්තයාගේ ලොකු දුව ඉන් පසු දකින දකින බළලා ට “මැණිකේ” යයි ඇමතීම ට පුරුදු විය. කුඩා බළලුන් ට, ගැහැණු බළලුන් ට පමණක් නොව, ප්‍රදේශය හොල්ලාගෙන සිටින හැඩිදැඩි මැර බළල්ලුන් ට ද ඒකි “මැණිකේ” යයි අමතන්න ට විය. එපමණක නොව, ඒකි මේ අප්පු වන මට ද “මැණිකේ” කියනවා ය. එය අපට කරන විශාල අපහසයක් නිසා අපි කෙලින් ම මේ ගැන ඒකි සමඟ කතා කළා ය.

අප්පු: මේ ඕයි…

ලො.ම.ලො.දු.: අප්පු, ඉස්සර වෙලා ම හරියට කතා කරන්න ඉගෙන ගන්න..ඕයි ලු…හහ්

අප්පු: ඉස්සර වෙලා උඹ හරියට කතා කරන්න ඉගෙන ගනින්…

ලො.ම.ලො.දු.: ඈ? ඇයි මම මොකක් ද කළේ?

අප්පු: ඇයි උඹ අපට මැණිකෙ කියන්නෙ?

ලො.ම.ලො.දු.: ඉතින් මොකක් ද ඒකෙ වරද?

අප්පු: වරද? ඒක අපට අපහසයක්.

ලො.ම.ලො.දු.: ආ…මෙන්න කතාවක්. මැණිකෙ කියන්නෙ ආදරේ ට නේ…

අප්පු: ආදරේ ට? අදරේ ට? අනේ නැට්ට… අපි මේ හැඩිදැඩි පිරිමි බළල්ලු. අපි මැණිකෙලා නෙවෙයි. අපට සර් කියන්න. එක්කො ලොක්කා කියන්න. නැත්නම් මහත්තයා කියන්න.

ලො.ම.ලො.දු.: ඈ අප්පු? කා ගැන ද ඔය කියන්නෙ?

අප්පු: මං ගැන

ලො.ම.ලො.දු.: 🤣 ඉතින් එහෙනම් හැඩිදැඩි කිව්වෙ? අප්පු මේ…අප්පු දන්නව ද අප්පුව ඇල්ලුවම එබෙන්නෙ ඇයි කියල? අප්පුගෙ ඔය කලු පාට සිනිඳු පුලුන් යටින් තියෙන්නෙ තනිකර ම තෙල. තෙල.

අප්පු: 😡😡😡 මේ ඕයි! උඹේ ඔය ගෙඹි හම යටින් තියෙන්නෙ තනිකර ම කටු ගොඩ. කටු, කටු, කටු! ආවා මෙතන මැණිකෙ කියාගෙන…😡

අපි ඒකි ට හොඳට ම දොස් කියා ලොකු මහත්තයා සොයන්න ට ගියෙමු. ඒකි බක බක ගාමින් සිනාසෙනවා අපට යන්තම් ඇසුනි.

මීට අප්පු.

function magic_particle_trail_script() { ?>