මල්වීනාගේ කොල්ලන්ට දැන් මාස 6 පැනලා ය. උන් දැන් අලි බළල්ලු ය. නමුත් උන් තාම මල්වීනාගේ ඇඟේ එල්ලුන ගමන් ය. මල්වීනා ද කොල්ලන් ව උවමනාවට වඩා සුරතල් කරයි. ඉල්ලන ඉල්ලන දේ දෙයි. ටොපි චොකලට් අරන් දෙයි. නාවයි. කොල්ලො පේන්න නැත්නම් මල්වීනා කෑ ගසමින් උන්ව සොයයි.
“නුඹට ඇහැක්දෝ මගේ පුතා සොයන්ටා
බෑ නුඹටා එය නුඹටා බෑ…🎶”
දැන් උන් ලොකු බවත් තනියම ජීවත් විය හැකි බවත් අපි ඒකිට පැහැදිලි කළ විට ඒකි අපේ ඇඟට ගොඩ වේ.
මල්වීනා: “අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා- පුතුන් රජුන් කරන්ටා…🎶” නටයි
අප්පු: එහෙනම් ඕන එකක් කරගනින්. පිස්සු. උන් මේ කොටි වගේ විසාල බළල්ලු. කෝලං. රජ කරගනින්කො බලන්න. මෙතන තියන බළල් පොර මදිවට…හම්බවෙයි එම නෝනගෙන්…
මල්වීනාගේ කෝල්ලන් ද ඊට හපන් ය. මල්වීනා පේන්න නැත්නම්, “අම්ම ඤෑ…” ගාගත්ත ගමන්ය. දවසක් උදේ පාන්දර 2 ට බට්ටි පුතා අපේ ලොකු මහත්තයාගේ ලොකු දුවගේ ඇඳට නැග ඒකිගේ කනට කර මහ හයියෙන් “අම්ම ඤෑ…” කියා ඇත. ඒකි ඇහැරුනේ උඩගොස් සිවිලිමේ වැදී ය. ඒකිගේ ඔලුව ද ගෙඩි ගැසී තිබුනි. කෙසේ හෝ ඒකිට මහ පාන්දර 2 ට නැගිට බට්ටි කොල්ලා ට අම්මා සොයා දීමට සිදු වී ඇත.
මුන්ව පාසල් යැවීමට යෝජනා කළ විට මල්වීනා කිව්වේ අපෝ එහෙම කොහොමද…අපට එලුවන් කෑම කිරීමටත් කට්ටිය මදි ය. ඉන්න උන්වත් ඉස්කෝලෙ යවා කොහොමද කියා ය.
අනේ මන්දා ය.
මීට අප්පු.