මනමාලි සුනඛයා මෙහෙට ආවේ වසංගත සමයේ ය. උගේ පහළ වීම පිළිබඳව විවිධ මත පවතී. සමහරු කියන්නේ ඌ ගෙදරකින් පැන ආ බව ය. තවත් සමහරු කියන්නේ ඌව අතරමන් කර ඇති බව ය. කෙසේ හෝ ලොකු මහත්තයාගේ ලොකුදුවගේ අනුශාසනයෙන්, ලොකු මහත්තයාගේ එම නෝනාගේ දිරිගැන්වීමෙන්, හා වැඩට උදව්වට ඉන්න අයියාගේ උත්සාහයෙන් මනමාලි සුනඛයා මේ ගෙදර සාමාජිකයෙක් විය. ඌ ඇවිත් නොබෝ කළකින් උගේ ආගමනය සම්බන්ධ දෙවන මතය සත්‍ය විය හැකි බව කාටත් තේරුනා ය. ඌ ඒ තරම් ම හොඳ ය. 🙄
මනමාලි සුනඛයාට එම නම ලැබුනේ ලොකු මහත්තයාගේ පොඩිදුවගෙනි. ඒ උගේ සංකර පෙනුම නිසා ය. 💃🪩
මනමාලි සුනඛයා කුඩා ය. බර අඩු ය. කට වැඩි ය. බළලුන් සමඟ හිතවත් ය. එය අපට වාසියක් මෙන්ම අවාසියක් ද විය. මොකද මනමාලි සුනඛයා සමඟ සෙල්ලම් කරන අපේ මෝඩ බළල්ලු හිතන්නේ අනිත් සුනඛයින් ද එහෙම බව ය. මෙම වැරදි අදහස නිසා අපේ එවුන් දෙන්නෙක් (මල්වීනා සහ බෙලියා) අල්ලපු ගෙදර කුණු සුනඛයි අතින් මැරුම් කෑමට ගොස් බේරුනේ අනූ නවයෙනි. ඒකට වගකිව යුත්තේ මනමාලි සුනඛයා සහ ලොකු මහත්තයාගේ ලොකු දුව ය.
ලොකු මහත්තයාගේ එම නෝනා මනමාලි සුනඛයාට විශේෂ සැලකිලි දක්ව යි. මනමාලි සුනඛයාව විස්කෝතු වලට ඇබ්බැහි කළේ එතුමිය යි. දැන් මනමාලි සුනඛයා ට හැම දේකට ම විස්කෝතු ඕනෑ ය. 🍪
බඩගිනි වීම සඳහා: විස්කෝතු 02 උදේ/ හවස 🍪🍪
බත් කෑමට පෙර: විස්කෝතු 02 උදේ/ හවස🍪🍪
බත් කෑමෙන් පසු: විස්කෝතු 02 උදේ/ හවස🍪🍪
නිදිමත වීමට: විස්කෝතු 02 රාත්‍රී නින්දට පෙර🍪🍪
නින්දෙන් ඇහැරීමට: විස්කෝතු 02 🍪🍪
කම්මැලි විට: විස්කෝතු 02🍪🍪 දවස පුරා
එම නෝනා ට සිතුන විට: විස්කෝතු 02 හෝ 03 🍪🍪🍪 දවස පුරා
ඒකත් මාරි බිස්කට් ය. වෙන ඒවා බැරි ය.
කොච්චර සැලකුව ද ඌ අපි බළල්ලුන්ගේ කෑම හොරකම් කරයි. අපේ රට කෑම අහුරු පිටින් කයි. අපේ සෙල්ලම් බඩු අපි බලා සිටින විටම තමුන්ගේ කොටුවට ඇද ගනී. අපේ තැඹිලි පාට කෑගහන මීයා නැති වීමට පෙර මූ ඒ දිහා බලමින් සිටියා ය. 🐭එම මීයා අපට පරම්පරාවෙන් ලැබුන දායාදයකි.
සාන්ත සුනඛයා මීට වඩා හොඳ ය. ඌට යම්කිසි හැදියාවක් ඇත. ඌ ගැන පසුව කියන්නම් ය.
මීට අප්පු.