අල්ලපු ගෙදර මග්දලේනා (Magdaline) අද මෙහි ආවා ය. ඒකි ආවේ දිග තට්ටු තට්ටු සායක් ඇද, රේන්ද ඇල්ලූ ජපන් කුඩයක් ඉහලාගෙන ය. ඒකිගේ අතේ මල් මැසූ ලේන්සුවක් ද විය. ඒකි බඩටම දිග සුදු ඇට මාලයක්ද දමා සිටි අතර වැට ලග නතර වී කුඩය කරකවමින් හොට උල් කරගෙන මේ පැත්ත බලා සිටියා ය. එවිට ලොකු මහත්තයාගේ ලොකු දුව “අඤේ මද්දලේනී…..” කියාගෙන එතනට ගියා ය. අපි ලිඳ ලග හැංගී බලා සිටි අතර ඒකි අපව දැක අපට ඇගිල්ල උලුක් කර තරවටු කළේ අප බැළලිව පන්නාවි යන බයට ය.
ලොකු මහත්තයාගේ ලොකු දුව දුටු ගමන් බැළලි ලොකු අදෝනාවක් කියාගෙනගියා ය. ගෙදර උන් ඒකිගේ සල්ලි ටික මඩි ගහගෙන රට පැන්න බවත් දැන් ඒකිගේ අතේ සතේ නැති බවත් ඒකි කිව්වා ය. ඒකිට කජු මුලක් හෝ කඩල ගොට්ටක් ගැනීමට වත්කමක් නැති බවටත් ඒකි නෝක්කාඩු කිව්වා ය. ඉරිදා පොළේ පාට පාට වළලු ඇති නමුත් ඒකිට ඒවා වත් මාල පොටක්වත් ගැනීමට දැන් බැරි බවත් ඒකි අඬමින් කිව්වා ය. නමුත් ඒකිව දැක්කාම නම් එහෙම හිඟයක් නොපෙනේ. ලොකු මහත්තයාගේ ලොකු දුවට වඩා මග්දලේනා පුෂ්ටිමත් ය.
කෙසේ හෝ ඒකිගේ අදෝනාවට රැවටුන ලොකු මහත්තයාගේ ලොකු දුව මග්දලේනා ට අපේ රට කෑම එකෙන් අහුරක්ම බෙදා දුන්නා ය. අපට පුදුම කේන්තියක් ඇති විය. ඒකි අපි දිහාද බලමින් කෑම ඒක කර කර ගා කා වතුර ද බී “එහෙනම් එඥ්ඥා….ං” කියාගෙන ජපන් කුඩයද කරකවමින් යන්න ගියා ය.
මෙය ලොකු මහත්තයාට පැමිණිලි කළ යුතු ය.
මීට අප්පු.