අපේ ලොකු මහත්තයාගේ ලොකු දුව ඉතා හීනි ය. පතෝල කරලක් වැනි ය. ඒකි ඒ තරමටම හීනි ය. දවසක් එම නෝනාට වැරදී ඒකිව දවල්ට උයන්න ද ලෑස්ති උනා ය. ඒකි බේරුනේ අපි කෑගහපු නිසා ය. දැන් ඒකිට ඒක මතක නැත. අපි මහත නිසා ඒකි අපිට ඊරිසියා ය.
හීනි උනාට ඒකි දවස පුරා එක එක දේවල් තනියම බඩට දා ගනී. ඒකි විවිධ පාට සහ හැඩ ඇති විස්කෝතු කයි. අලියා බීම බොයි. අපට දෙන්නේ නැත. දවසක් ඒකි කකුල් වනමින් රතු පාට අලියා බීම එකක් බටයකින් බිබී සිටියා ය. අපි ඒකෙන් ටිකක් ඉල්ලුවාම ඒකි අපේ වතුර එක පෙන්නා “ඔය තියෙන්නෙ. බොන්න.” ය යි කිව්වා ය. ඒ තියෙන්නේ වතුර බවත්, අලියා බීම නොවන බවත් අපි ඒකිට පැහැදිලි කිරීමට පටන් ගත් විට ඒකි අහක බලා ගත්තා ය.
තව දවසක් ඒකි කේජු සුවද හමන කොටු හැඩැති පොඩි විස්කෝතු වගයක් තනියම කකා සිටියා ය. අපටත් විස්කෝතු කෑල්ලක් දෙන්න යයි කියමින් අපට එතන පැයක් පමණ පින්සෙන්ඩු වෙන්න සිදු විය. ඒ තරම් කියලාත් එකි අපිට දුන්නේ මිලි මීටර් දෙකක ඇහැට නොපෙනෙන විස්කෝතු කුඩු කෑල්ලක් පමණි. ඒක දුන්නේ ද මහා දානයක් දෙනවා වගේ ය. ඒක අපේ දිව උඩම දිය වී අතුරුදහන් විය. රස බලන්න හෝ ගිලින්න දෙයක් තිබුනේ නැත. අපි තව කෑල්ලක් ඉල්ලුවාම ඒකි ඇස් ලොකු කරගෙන මහ හඩින් “ඇයි දැන් දුන්නෙ!!!! ආයෙ බෑ. මටත් මදි වෙලා තියෙන්නෙ”, කියමින් විස්කෝතු ටින් එක අරගෙන පුටුවෙන් බැස ගියා ය.
ඒකි ඒ වගේ ය. කුණු ලෝභ ය. නමුත් ඒකි ලෝකයාට පෙනෙන්නට විවිධ දේ කරයි. ඒකි පිට බළල්ලුන්ට කෑම සපයයි. ගෙදරට එන ඕනෑම කුණු බළලෙක්ට ඒකි කෑම පිඟානක් දෙයි. ඒ දෙන්නේ අපේ කෑම වලින් ය. මේ බව දන්නා සමහර හොර බළල්ලු දවසට පස් හය වතාවක් පැමිණ කෑම පිඟානක් ලබා ගනී. අපට එහෙම කෑම දෙන්නේ නැත. ඒකි නිසා පිට බළල්ලු තර වේ.
ඒකි, එම නෝනා අපට ලබා දෙන අයිස් ක්‍රීම් හැන්ද ද නතර කළේ ඒකිගේ කුහක කමටය. නමුත් ඒකි කියන්නේ සීතලට අපේ නහය හිර වෙන බවය.
අද පාන්දර 3 ට ඒකි නිදා සිටින අතර අපි ඒකිගේ මුහුණට ම තඩි කිවිසුමක් යැව්වේ තරහට ම ය. ඒ විතරක් නොව අපි ඒකිගේ වැළමිට ද හපා ඇද යට හැංගුනා ය. ඒ අතර ඒකිගේ සෙරෙප්පු දෙක ද තල්ලු කර බිත්තිය අයිනට ම දැම්මා ය. ඒකි කලබලවී නින්දෙන් නැගිට ඇදෙන් බැස කාමරයේ එළි දල්වා සෙරෙප්පු දෙකත් නැති බව දැක කේන්තියෙන් මුමුණමින් වට පිට බලන හැටි අපි ඇද යට සිට හැංගී බලා සිටියා ය. ඉන් පසු ඒකි බිම බඩගාගෙන සෙරෙප්පුව ගන්න විට අපව හසු විය. නමුත් අපි පැන ගත්තා ය. ඔය මදි ය. ඕකිට මීට වඩා හොද පාඩමක් ඉගැන්විය යුතුම ය.
මීට අප්පු.