නත්තල් ගස

පෙරවදන
අප්පු ට ගස් නැගීමට බැරි ය. ගස් තබා කිසිම උසකට නැගීම ට නොහැකි ය. වැරදීමකින් හෝ උසකට නැගුනොත් අපි කවුරු හෝ නැග අප්පු ව බා ගත යුතු ය. ගස් නොනගින නිසා අප්පුගේ නියපොතු ගෙවෙන්නේ ද නැත. ඒවා ඉඳිකටු මෙන් උල් අතර හැම තැනම පැටලේ. එසේ තැන් තැන වල පැටලුන විට ඒවා ද අපි ම බේරා දිය යුතු ය. නමුත් අප්පුගේ ලොකුකමේ ද කිසිම අඩුවක් නැත.
පහත සිදුවීම සිදුවන්නේ තත්වය මෙසේ තිබියදී ය.

1 පරිච්ඡේදය
ගෙදර බළලුන්ගේ සමත්කම් නිසා 2023 දෙසැම්බර් මස 1 සිට 31 දක්වා ගෙදර නත්තල් ගස 6 වතාවක් මුල සිට සැරසීමට සිදු විය. මේ හේතුවෙන් ගෙදර (හා පිට) බළලුන්ට රිසි සේ භාවිතා කිරීමට එළියේ වෙනම නත්තල් ගසක් සෑදීමට මුලින් ම යෝජනාව ගෙන ආවේ ලොකු මහත්තයාගේ එම නෝනා ය. ඒ අනුව සියලු දෙනාගේ එකඟත්වයෙන් හා ලොකු මහත්තයාගේ ආශිර්වාදයෙන් එළියේ නත්තල් ගසක් ඉදි වුනි. එහි සියලු සැරසිලි තිබුන අතර විදුලි බුබුලු වැලකින් ගස ආලෝකමත් ද කර තිබුනි.

2 පරිච්ඡේදය
තම ජීවිතයේ පළමු වරට නත්තල සමරන බළල්ලු (බෙලිසිමෝ සහ මල්වීනාගේ පුත්තු) සිත් සේ නත්තල් ගසේ නගිමින් බසිමින් සැරසිලි කඩමින් වඳුරන් සේ හැසිරෙමින් එම ප්‍රීතිය බුක්ති වින්දහ. ඒ අතර නත්තල් කිහිපයක් ම ගත කළ බළල්ලු ද පළමු වරට නත්තල් ගසක් දැක්කා සේ (බොරුවට) පුදුම වෙමින් ගස මුල වැතිරීගෙන දවසම ගත කළෝ ය. අප්පු ද කිහිප විටක් ම ගස වටා කැරකෙමින් සිටිනවා මම දුටුවෙමි.

3 පරිච්ඡේදය
පසුගිය සතියේ දිනක මම නත්තල් ගස පසු කරගෙන එන අවස්ථාවේ ගස දෙසින් කවුරු හෝ කථා කරන හඬක් ඇසුනි.

හඬ: ඕයි! ඕයි! පොඩ්ඩක් එනවකො…ඕයි…
මම: කව්ද ඔය?
හඬ: කවුද අහන්නෙ ඇවිත් බලනවකො!

මම ගස ලඟට ගොස් බැලුවෙමි. නත්තල් ගස ඇතුලේ කඳ මැදට වෙන්නට සැරසිලි හා වයර් පටලාගෙන, අප්පු, කොස් ගෙඩියක් මෙන් එල්ලී සිටි අතර නියපොතු නිසා අප්පු කඳටම ඈඳී සිටියේ ය.

මම: මොකද අප්පු ඔය? මොකක් ද ඔය කරන්නෙ ගහේ එල්ලීගෙන?
අප්පු: මොකද අහන්නෙ පේන්නෙ නැද්ද වෙලා තියන දේ? මේ ගහ අපව අල්ලාගෙන. අත අරින්නෙ නෑ. උදවු කරපන්කො! ඕයි.!
මම: චී මොකද්ද අප්පු ඔය කතා කරන කැත?
අප්පු: අනේ මේ ඕයි මුලින් උදවු කරපන්කො! බණ කියන්නෙ නැතුව…
මම: ගහ අප්පුව අල්ලගෙන නෑ. අප්පු ගහ අත අරින්න. එතකොට හරි.
අප්පු: බෑ ඕයි මේ ගහ අපව අල්ලගෙන ඉන්නෙ….තේරුම් ගනිංකො කියන එක…අනේ…. අයියෝ…බේර ගනියෝ…
අප්පු මහ හඬින් කෑ ගසන්නට විය.

මම ඉක්මනින් ගසේ අතු ඈත් කර ඉතා අමාරුවෙන් සැරසිලි හා වයර් පැටලුම් හැර අප්පු ව බා ගත්තෙමි. අප්පු ගස අතහැර මගේ අතේ එල්ලුන අතර අත ලේ එන්නම සීරුනි. තව පොඩ්ඩෙන් අප්පුගේ දැඟලිල්ලෙන් මට විදුලි සැර ද වැදේ.

මම: අනේ මේ අප්පු බැරි වැඩ කරන්න එපා. බිම ඉඳලා ගහ බලන්න. දැන් මම ආවෙ නැත්නම් මොකද වෙන්නෙ? අතත් තුවාල වුනා. බලන්න තව පොඩ්ඩෙන් මට කරන්ට් වදිනව අප්පුගෙ පණ්ඩිත වැඩ නිසා.
මම දොස් කිව්වෙමි.

අප්පු: ආපෝ උඹේ කටේ සද්දෙ…සීරිලා මදි, උඹට වදින්නමයි තිබ්බෙ..කරන්ට් එක. අපරාදෙ.

අප්පු මට බනිමින් යන්න ගියේ ය. මා කළ උදව්වට අඩුම තරමේ ස්තූතියක් වත් නොවී ය. ඔය අප්පුගේ තරම ය.

මීට ලොකු මහතතයාගේ ලොකු දුව 😕.

function magic_particle_trail_script() { ?>