දන්ත සායනයේ දී හමු වූ මිතුරා

අද උදෑසන උවමනාවකට දන්ත වෛද්‍යවරයා හමු වීමට ගියෙමි. අප නොම්මර 01 ගෙන වෛද්‍යවරයා එනතුරු සිටින අතරේ හදිසි ගමනින් බළලෙක් පැමිණ අපට එහා පැත්තේ පුටුවේ වාඩි විය. බැලු බැල්මටම ඌට හරි හදිස්සියක් ඇති බව පෙනුනි. ඌ ඔරලෝසුව බලමින් “චහ්, චහ් හරි රස්තියාදුව” කියමින් කකුළක් වේගයෙන් සොලවමින් එබි එබී මග බලමින් සිටියේ ය.

කාළය ගෙවීම සදහා මම ඌ සමග කතාවට වැටුනෙමි.

මම: පූස් මේ පැත්තෙ ද?
ඌ දැගලිල්ල නවතා මා දෙස බැලුවේ ය. ඒ ඇස් කොළ පාට ය. එහි පොඩි කේන්තියක් ද විය.

බළලා: මොන පූස් ද? මට මහත්මයා කියන්න.
එසේ කියා මට නොඇසෙන ලෙස ඌ මිමිනුවේ ‘දැන් කාලෙ හැදෙන උන්’ කියා ය.

මම: මහත්මයා මේ පැත්තෙ ද?
බළලා: අපෝ නෑ. ගොඩක් දුර. ගගෙන් එහා.

ගගෙන් එහා කිව්වා ම මම හිතුවේ දකුණේ කියා ය.
එවිට ඌ මට රවා, “අර පැත්තේ” කියා පහළ කානුව පෙන්වී ය.

මම: ආහ්…එහෙ. අද මොකෝ මෙහෙ?
බළලා: දතක් කැක්කුම් කරනවා. ඒක පෙන්නන්න ආවා.
මම: නරක් වෙලා ද?
බළලා: ඒක දැනගන්න තමයි ආවෙ.
මම: ඇයි දත් මදින්නෙ නැද්ද?
බළලා: මදින්න බුරුසුවක් තියෙන්න එපැයි.
මම: දත් බුරැසුවක් නැද්ද?
බළලා: ඒක නැති වෙලා.
මම: දත් බුරුසු එහෙම නැති වෙනවයැ?
බළලා: මම හිතන්නෙ වැටිලා වෙන්න ඕන.
මම: වැටිලා? කොහෙද?
බළලා: කොහෙද කියල දන්නවනම් ඇහිදගන්නවනෙ ඕයි මෝඩ ප්‍රශ්න අහන්නෙ! උඹලා….කේන්ති යනව ඕයි!

ඌ මගේ ඇගට ගොඩ විය.

මම: හා හා කේන්ති ගන්න එපා මහත්මයා.
බළලා: ඒක කහ පාටයි. හීනියි. දිගයි.
මම: බුරුසුවද?
බළලා: නෑ, දත.
මම: ආහ්…ගොඩක් අමාරු ද?
බළලා: (නිහඩ ය)
බළලා: මේ ඕයි, මට මුලින් යන්න දීපන්කො?
මම: නොම්මර 01 මමනෙ.
බළලා: හරි ඉතින් උඹ මට බිංදුව දීපන්.
මම: හා කමක් නෑ. එහෙනම් මුලින් යන්න.

එවිට මෙන්න මේ බළලා පුටුවෙන් බැස යන්න ගියේ ය.

මම: මේ…මහත්තයා…කොහෙද යන්නෙ? දත පෙන්නන්නෙ නැද්ද?? එන්න මම කලින් යන්න දෙන්නම්.

එවිට ඌ අලස ලෙස හැරී බලා “දැන් බෑ ඕයි, වස කම්මැලියි” කියා පඩිපෙළ බැස යන්න ගියේ ය. පැයකට පසු අපි වෛද්‍යවරයා හමුවී ගෙදර අන අතර ඌ ක්‍රීඩා බඩු කඩයක් අසල ඇල වී සිටි අතර මම ඌට අත වැනීමට සූදානම් වන නිටම ඌ ඇස් පියාගෙන අහක බලා ගත්තේ ය.

මීට ලොකු මහත්තයාගේ ලොකු දුව

function magic_particle_trail_script() { ?>