දැන් රාත්‍රී 8.45. ගේ ඇතුලේ නැති නිසා බලන විට පුල්ලිකුමාර මුනිදාස වහලය උඩ ය. එන්න කිව්වා ට එන්නේ නැත. බලන විට කුස්සිය ලඟ ගහක් පාමුල කවි කුසුම් හා ගුල් මොහොමඩ් ය. කවි කුසුම් ලෝවැඩ සඟරාව පෙරලමින් සිටි අතර ගුල් මොහොමඩ් උගුර පාදමින් ගායනය ට සූදානම් වෙමින් සිටියේ ය. දැන් මෙතන විසාල විපතක් වීම ට නියමිත නිසා මම පුල්ලියා කැමති ම කෑම ටිකක් පෙන්නා බහින්න කියා වැන්දේ නැති ටික විතර ය. (පුල්ලියාගේ ශරීරය යෝධ වුනාට පුල්ලියා බය ගුල්ලෙකි.)
මම: පුල්ලියා, බහින්න. මම ගන්නම්.
පුල්ලියා: අපෝ බෑ
මම: ඇයි? මම ඉන්නව මෙතන, මම ගන්නම්.
පුල්ලියා: බෑ
මම: පුල්ලියා රෑ වෙනවා. බහින්නකො. මට වැඩ තියනවා.
පුල්ලියා: බෑ කිව්වනෙ…
මම: එහෙනම් පිනි බබා ඔහොම ඉන්න උදේ වෙනකන්. මම යනවා.
පුල්ලියා: පොඩ්ඩක් ඉන්න.
මම: හරි එහෙනම් බහින්න.
පුල්ලියා: කවි කුසුම් ඉන්නවා
මම: ඌ ගියා
පුල්ලියා: ජෝන් ජයපාල ඉන්නවා
මම: ඌ කන්නෙ නෑ අනේ බහින්නකො!!!
පුල්ලියා: සුමනා ඉන්නව පේනවා
මම: අයියෝ පුල්ලියා, සුමනා පූසියෙක්නෙ. ලැජ්ජ නැද්ද පූසියන් ට බය වෙන්න?
පුල්ලියා: නෑ
මම: ඈ?? ලැජ්ජ නෑ?
පුල්ලියා: නෑ නෑ…මේ…එහෙම නෑ
මම: බහින්න!!!!
පුලලියා: ගොග්ගා ඉන්නව ද දන්නෑ
මම: මොන ගොග්ගෙක් ද? මතක නැද්ද ඌ මැරුනා? දැන් අවුරුදු දෙකක්.
පුල්ලියා: ආහ්…එහෙමයි නේ…
මම: අනේ මේ පුල්ලියා දැන් මගෙ ඉවසීම ඉවරයි. මම යනවා. ඕන එකක් කරගන්න, හරිද? මම ගියා.
මම ගෙදර ආවෙමි. මට වැඩ ගොඩක් ඇත. ඒත් මේ බයගුලු යෝධ පුල්ලියා ව එළියේ තියන්න ද බැරි ය. තව රෑ වෙලා බලන්න ඕනෑ ය. අදත් නිදියලා ඉවර ය.
මීට එපා වුන ලොකු මහත්තයාගේ ලොකු දුව.