ඊයේ අප්පු සහ මම රාත්රී අහසේ තරු බැලුවෙමු. මම අප්පු ට එක එක තරු රටා පෙන්වූ අතර ඒවායේ නම් ද කිව්වෙමි.
මම: අප්පු, අර තියෙන්නෙ දඩයක්කාරයා තරු පන්තිය.
අප්පු: දඩයක්කාරයා අල්ලන්නෙ මොක්කුන්ව ද? මීයො ද?
මම: නෑ අප්පු. අහසෙ මීයො නෑ.
අප්පු: එහෙනම් උඹලගෙ වහලෙ දුවන්නෙ?
මම: අහසයි වහලෙයි කියන්නෙ දෙකක්, අප්පු. මේ දඩයක්කාරයා ගොනෙක් මෙල්ල කරන්න හදන්නෙ. අර තිගෙන්නෙ ගොනා තරු පන්තිය.
අප්පු: ආ…ගොනා! උඹ වගේ…
මම: අප්පු මේ, මම ගොනෙක් නෙවෙයි ඈ. අන්න අතන බලන්න. ඒ තියෙන්නෙ මහ හැන්ද තරු රටාව.
අප්පු: මහ හැන්ද කිව්වා ඈ? ගොනා ට බත් බෙදන එක වෙන්ඩැ.
මම: දන්නෙ නෑ. ඒක ට මහ වලසා කියලත් කියනවා.
අප්පු: අම්මෝ වලහෙක් අහසේ!! අර මම නිදියන එක වගේ වෙන්ඩැ.
මම: හ්ම. ඔව්. අර තියෙන්නෙ හාවා තරු රටාව.
අප්පු: *නිහඬ ව තම නියපොතු පිරික්සයි.”
මම: අන්න හත්දින්න.
අප්පු: ඒ මොකද්ද ඒ? හැපින්න වෙන්න ඇති. උඹ දන්න බම්බුව.
මම: අර තියෙන්නෙ අහසෙ දීප්තිමත් ම තරුව. ඒක අයිති මහ බල්ලා තරු පන්තිය ට.
අප්පු කලබල වෙයි.
අප්පු: මොකද්ද උඹ කිව්වෙ? හොඳම තරුව අයිති බල්ලෙක් ට?? උඹ නම්…
මම: ඉතින් ඒක මම කරපු දෙයක් නෙවෙයි.
අප්පු: නෑ? ඉතින් දැන් උඹනේ අරක මේක කිය කිය තරු පෙන්නුවෙ. මහ බල්ලා කිව්වා ඈ…ඕක දීපන් බළලා තරු පන්තිය ට.
මම: එහෙම තරු පන්තියක් නෑ අප්පු.
අප්පු: මොකද්ද උඹ කිව්වෙ? අහසේ බළලෙක් නෑ?
අප්පු ඇස් වපර කර මූණ ඇල කර මගේ මූණට ළං වී බැලුවේ ය. අප්පු කේක් සුවඳ ය.
මම: නෑ…ඉතින්…මම කරපු දෙයක් නෙවෙයිනෙ…බළලා කියලා තරු පන්තියක්..නෑ.
අප්පු: ආයෙ කියපන් බලන්න…
මට බය ද සිතුනි. නමුත් අප්පු යලිත් පසුපස ට වී බර කල්පනාවක ට වැටුනි.
අප්පු: මේ, උඹ ට බැරි ද වැඩක් කරන්න?
මම: මොකක් ද?
අප්පු: මාව තියපන් අහසෙන්. මම බළලා තරු රටාව වෙන්නම්.
මම පුදුමයෙන් ඇසිපිය ගැසුවෙමි.
අප්පු: මොකද බැරිද? අහසේ ඔක්කොම සත්තු ඉන්නවා බළලෙක් නෑ!! බල්ලෙක් ඉන්නවා නම් බළලෙක් ඉන්න ඕනෑ ම යි මයි මයි මයි මයි…..
අප්පු කේන්තියෙන් උඩ පනින්න ට විය.
මම: හරි හරි අප්පු! සන්සුන් වෙන්න. අපි එහෙම කරමු. මම අප්පු ට පොරොන්දු වුනෙමි. අප්පුගේ කෑගැහිල්ල හා දැඟලිල්ල නතර වූයේ එවිට ය.
ඉතින් මම අප්පුව රැගෙන අහසේ තරු අතර තැබුවෙමි. ඇත්තට ම අප්පු අයිති තරු අතරට ය. අප්පු තරුවකි. මහ බල්ලා ට අයත් අහසේ දීප්පතිමත් ම තරුව ට වඩා අප්පු දීප්තිමත් ය.
අප්පු ව බලා ගැනීම ට ඕනෑ නම් රෑට අහස බලන්න. ඔබට පෙනෙන දීප්තිමත් ම තරුව අප්පු ය. සමහර විට අප්පු මට දොස් කීම ට ද හැකි ය. උදව් ඉල්ලීම ට ද හැකි ය. බේර ගනියෝ කීම ට ද හැකි ය. ඒ අප්පුගේ හැටි ය.
නමුත් කළබල නොවන්න. අප්පු හොඳින් ය. ඔබ ට මට කාටත් වඩා අප්පු හොඳින් ය. ඒ ගැන මම සහතික වන්නෙමි.
මීට ලොකු මහත්තයාගේ ලොකු දුව