පසුගිය දවසක අපේ සූකිරි ට දරුවන් 3 දෙනෙක් ලැබී තිබුනි. එහෙම ලැබුනේ කොහොමදැයි අප දන්නේ නැත. උදේ සිටියේ සූකිරි පමණ ය. රෑ බලන විට ඒකි සමග පැටවුන් 3ක් ද විය. කෙසේ හෝ එදිනම ගිඩියොන් බාප්පා ගෙදරින් අතුරුදහන් විය. ඌ පාරෙන් එහා පැත්තේ එහෙ මෙහෙ යන බව දුටු බවක් එම නෝනා ලොකු මහත්තයාගේ ලොකු දුව සමග කියනවා අප හොරෙන් අහගෙන ය. පැටවුන් බැලීමට ආ වෙලාවක අපේ ලොකු මහත්තයා එක පැටියෙක් පෙන්නා ‘මූ නම් එහෙමපිටින් ම ගිඩියොන් වගේ’ යයි පුදුම ප්රකාශයක් නිකුත් කළා ය. නෝනලා මහත්තයලා…මේකයි…අපට ඕවා වැඩක් නැත. අපි අපේ පාඩුවේ රස්සාව කරගෙන ජීවත් වන අප්පු කෙනෙකි. නමුත් සූකිරිලා ට පමණක් එහෙම ලැබෙන එක වැරදි ය. අපට ද වැඩපල කරවා ගැනීමට සහ ගෝල කමට කවුරු හෝ සිටිය යුතුය. අපි එක පැටියෙක් ඉල්ලුවා ම සූකිරි “බෑ බෑ දෙන්න බෑ…ඔක්කොම මගේ…පලයා…වු” කියාගෙන අපේ ඇගට ගොඩ විය. ලොකු මහත්තයාගේ ලොකු දුව ද අපට පැටවු බැලීමට දෙන්නේ නැත. මේව මහා අසාධාරණකම් ය. කෙසේ හෝ තොරණ් බලන්න එක්ක යන්න කියා එකෙක් පන්නා ගත යුතු ය.
මීට අප්පු.