අද උදෑසන එම නෝනාට වැරදීමකින් ගිඩියොන් බළලාට ගොඩ්ඩිං යැයි අමතීමෙන් කලබගෑනියක් ඇති විය. නායකත්වය ගැනීමට තවත් බළලෙක් ඇවිත් යයි කටකතාවක් එසැනින් ගේ පුරා පැතිරී ගියා ය. අළුත් බළල් නායකයාට මූණ පෙන්නා ලකුණු දා ගැනීමට බළල්ලු පෝලිමේ ආවා ය. ඒ අතර හෙලේනා ද විය. හිඹුටු කුමාරි ද උදෙන්ම නාගෙන ඒකිගේ කළු මූණේ පවුඩර් උලාගෙන ගොඩ්ඩිං සොයමින් රස්තියාදු උනා ය. ඒකිව දැක බළල්ලු කීප දෙනෙක් මෙන්ම සුනඛයා ද භය වී ඇත. බළල්ලු සී සී කඩ ඇවිදිමින් “කව්ද ගොඩ්ඩිං…කව්ද ගොඩ්ඩිං…?” යයි එකිනෙකාගෙන් අසමින් ගොඩ්ඩිංව සෙව්වා ය. අවසානයේ උන්, බඩ පිරෙන්න කෑම කා ඉස්තෝප්පුවේ නිදා සිටි ගිඩියොන් වටකර ගෙන “කව්ද ගොඩ්ඩිං…කව්ද ගොඩ්ඩිං…උඹද ගොඩ්ඩිං” යයි අසමින් ඌට කරදර කරන්නට විය. එවිට ගිඩියා නින්දෙන් ඇහැරී “මොන ගොඩ්ඩිං ද…අපි දන්න ගොඩ්ඩිමෙක් නෑ…මට පාඩුවෙ ඉන්න දී පලයාආආආආ…ව්” කියා කෑගැසුවා ය. බළල්ලු ටික භය වී හිස් ලූ ලූ අත දිව්වා ය. ගොඩ්ඩිං අභිරහස එසේ නිමා විය.